Viewed 734 Times.   
විජය-කුවේණි මාලිගාව බලන්න විල්ලුවලින් පිරුණු විල්පත්තුවට යමු

මේ කෑදැත්තෝ යුවළ වන උයනේ සෞන්දර්ය තවත් වඩවති

මේ අප සිටින්නේ අපේ රටේ විශාලතම ජාතික වනෝද්‍යානයේයි. විල්ලු 40ක් ඇති මෙරට එකම ජාතික උද්‍යානය වන මෙහි ශාක විශේෂ 624ක් මෙන්ම සත්ව විශේෂ 370ක් වාර්තා වී තිබෙනවා.

මෙරට දිවියන් බහුලම වන උද්‍යානය මෙයයි. ලංකාවේ උසම කුරුල්ලා වන මහ කොකාද ලංකාවේ විශාලතම ජලජ පක්ෂියා වන බහුරු මානාවා ද මෙහිදී දකින්නට පුළුවන්. අපේ සිංහල ජාතියේ ආරම්භය සනිටුහන් කරමින් විජය රජු මේ රටට පැමිණියේ ද මේ වන උයන හරහායි.

මරට වනජීවී සංරක්ෂණය පිළිබඳ වංශ කතාවේද මේ වන උයනේ නාමය සුවිශේෂ ලෙස කියැවෙනවා. ඒ අන් කිසිවක් නිසා නොවේ, වනජීවී සම්පත් සුරැකීමට තම රාජකාරිය කරමින් සිටියදී දිවි පිදූ වැඩිම වනජීවී නිලධාරීන් පිරිස සිටියේ ද මේ වන උයනේ නිසාය. ඒ පිරිස වන ජීවී නිලධාරීන් 40ක්. ඉන් වැඩි දෙනෙක් දිවි පිදුවේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ප්‍රහාර නිසායි.

අපේ ප්‍රථම රජු විජය - කුවේණි සිටි මාලිගාවල ගල් කණු, පුරාණ විහාරාරාම 65ක පුරාවිද්‍යාත්මක නටඹුන් සමඟ තවත් පුරාවිද්‍යාත්මක ලෙස වැදගත් ස්ථාන රැසක් මෙහි තිබෙනවා.

අවට දක්නට ඇත්තේ වියළි කලාපයට ආවේණික වූ වනාන්තරයි. අවටින් හමන්නේ ගත සිත දෙකම සිසිල් කරන මදනලයි. මේ සන්ධ්‍යා කාලයේ ඒ වනාන්තරයෙන් ඇසෙන්නේ අරුම පුදුම විදිහේ කුරුලු කූජනයන්ය. අවට නිශ්ශබ්දතාව සමනය කරමින් තුන්පත් රෑනක් අඩ අඳුරේ මේ දෙසට එන බවක් ද අපට පෙනෙනවා.

මේ අප අටුවා ටීකා කිව්වේ පසුගියදා, පාරිසරික හා ස්වභාවික සම්පත් ඇමැති පාඨලී චම්පික රණවක මහතා අතින් යළි විවෘත කෙරුණු විල්පත්තුව ජාතික වනෝද්‍යානය පිළිබඳවයි.

විල්පත්තුව ජාතික උද්‍යානය 1938 පෙබරවාරි 25 වැනිදා ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. එහි වර්ග ප්‍රමාණය හෙක්ටයාර 131667.1ක්. අක්කරවලින් බැලුවොත් අක්කර ලක්ෂ 3කට වැඩියි.

1985 න් පසුව කොටි ත්‍රස්තවාදීන් නිසා විල්පත්තුව වන උයන බැලීමට යන්න එන්න අපේ ජනතාවටත් පිටරට අයටත් හරියට අවස්ථාව ලැබුණේ නැහැ. 2002 2003 දී තරමක් මෙය බැලීමට අවස්ථාව ලැබුණත් 1985 සිට 2007 වකවානුවේදී වනජීවී නිලධාරීන් 40ක් පමණ මේ වනය සුරැකීමට ගොස් කොටි ත්‍රස්තවාදීන් අතින් මරණයට පත්වුණා. එහි මුල්ම ප්‍රහාරය එල්ල වුණේ 1985 දි. එදා මෙහි සිටි සේවකයන් 24 එකට පෙළගස්වා එල්.ටී.ටී.ඊය විසින් මරා දමනු ලැබුවා.

ඒ අනුව 1985 සිට ම දෙස් විදෙස් සංචාරකයන්ට අපේ ලොකුම ජාතික උද්‍යානය බැලීමට හරියට අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කොටි ත්‍රස්තවාදය පරදවා රටම එක සේසත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මේ සුන්දර වන උයනේ අක්කර ලක්ෂ 3 පුරාම ගොස් එය නැරඹීමට ඔබට දැන් අවස්ථාව ලැබී තිබෙනවා.

මේ යළි විවෘත කිරීමේ උත්සවයේදී ඇමැතිවරයා අවධාරණය කළේ දැන් මේ රට සියලු ජාතික වනෝද්‍යාන ජනතාවට නැරඹීම සඳහා විවෘත වී ඇති බවයි.

මෙහිදී අපට හමුවූ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් වනජීවී නියෝජ්‍ය අධ්‍යක්ෂ වයි.පී.ජී.කරුණාරත්න මහතා පැවැසුවේ පෙරවරු 6 සිට සවස 6 දක්වා විල්පත්තුව ජාතික උද්‍යානය මහජනතාවට විවෘත වී පවතින බවයි. “ඉදිරියේදී ත්‍රස්තවාදී ප්‍රහාර නිසා අබලන් වී ඇති තලවිල, මහවිල, කොක්මොටේ, පැනිකෑවිල යන ස්ථානවල පිහිටි බංගලා ප්‍රතිසංස්කරණය කර ජනතාවට මේ බංගලාවල නැවතීමේ පහසුකම් ලබාදෙනවා. කෙසේ වුවත් මෙහි මහාමාර්ග සියල්ල දැන් ප්‍රතිසංස්කරණය කර ආරක්ෂාව තහවුරු කරලයි තියෙන්නේ. ඉදිරි මාස 2 3 තුළදී වන උයන ඇතුළත සියලු පහසුකම් ලබාදීමට කටයුතු කරනවා.’ වයි.පී.ජී.කරුණාරත්න මහතා පැවැසීය.
         කුදිරමලේ තුඩුව
කොළඹ සිට මීගමුව හලාවත පුත්තලම හරහා අනුරාධපුර මාර්ගයේ පැමිණ විල්පත්තු හන්දියෙන් හැරී කිලෝමීටර් 8ක් ඔබ්බෙන් පිහිටි හුනුවිලගම පිහිටි විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උද්‍යාන පිවිසුම් කාර්යාලයට පැමිණිය හැකිය. කොළඹ සිට දුර කිලෝමීටර් 185කි. මීට අමතරව කොළඹ, වරකාපොළ, කුරුණෑගල, ගල්ගමුව සහ පුත්තලම හරහා ද හුනුවිලගමට පැමිණීමට පුළුවන්.

මේ වන උයන අනුරාධපුර පුත්තලම මන්නාරම යන දිස්ත්‍රික්කවලට මායිම්ව හා වයඹ උතුරු මුහුදු වෙරළට යාබදව පිහිටා තිබෙනවා.

විල්පත්තුවට ඒ නම ලැබී ඇත්තේ එහි ඇති විල්ලු 40 නිසයි. මේ විල්ලු මේ ජාතික උද්‍යානයට ආවේණික සුවිශේෂ දෙයක්. මෙහි ඇති ප්‍රධාන විල්ලු ගණන 27ක්. වනාන්තරයේ සිටින සතුන් වැඩිපුරම මේ විල්ලු අසල ගැවසෙනවා. විල්ලු අතරින් කාලිවිල්ලුව පුරා විද්‍යාත්මක අතින් වැදගත් එකක්. කුවේණි හා විජය සිටි රජ මාලිගාව පිහිටා තිබී ඇත්තේ මේ විල්ලුව අසලයි. එහි ගල් කුලුනු තවමත් තිබෙනවා. එම මාලිගාවට පිරිසුදු මිරිදිය ලබාගත්තේ මේ විල්ලුවෙන් බව පැවසෙනවා. මේ ස්ථානයට විල්පත්තු ප්‍රධාන වනජීවී කාර්යාලයේ සිට කිලෝමීටර් 40ක් දුරයි. මේ විල්ලුවේ ජලය අදත් ඉතා පිරිසුදු ලෙස පවතිනවා.

මේ විල්ලු එක එක ප්‍රමාණයෙන් තිබෙනවා. සමහර ඒවා අපේ වැව්වලටත් වඩා විශාලයි. විල්පත්තුව වනජීවී අඩවි ආරක්ෂක කේ.බී.දසනායක මහතා පවසන පරිදි විල්ලු අතරින් කොක්කාරිය හා ලුනුවිල කරදිය විල්ලු ඒ අතර ප්‍රධාන වෙනවා. දෙමටවිලේ ඇත්තේ කිවුල් දියයි. මීට අමතරව තවත් ප්‍රධාන මිරිදිය විල්ලු 24ක් ද තිබෙනවා.

මේ සියලු විල්ලුවලින් විශාලතම එක කොක්කාරිය විල්ලුවයි. එය මුහුදු මට්ටමේ සිට අඩි 250ක් ඉහළින් ද මුහුදේ සිට සැතපුම් 10ක් රට ඇතුළතට වන්නට ද පිහිටා තිබෙනවා. මෙහි ජලය වසරේ දින 365 පුරාම පවතින බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ.

මේ ජාතික උද්‍යානයේ සත්ව හා ශාක පරපුර ද බහුලයි. ජෛව විවිධත්වය ඉහළ මට්ටමක පවතිනවා. මෙහි වියළි කලාපීය කාෂ්ඨක ශාක වැඩියෙන් තිබෙනවා. පලු, වීර, දිවුල්, බුරුත, කොහොඹ, කකුල්කටු හා තම්මැන්න ආදී ගස් මෙහි බහුලව දකින්න පුළුවන්. වනාන්තර කටුපඳුරු සහිත ලඳු කැලෑ, ගංගාධාර වනාන්තර තෘණ භූමි හා කඩොලාන වැනි පරිසර පද්ධති මෙහි වැඩියෙන් දකින්න පුළුවන්. ශාක විශේෂ 624කට අධිකව මෙහි ඇතැයි පර්යේෂණ මඟින් පවසනවා. ඉන් විශේෂ 27ක් අපේ රටට ආවේණිකයි.

විල්ලු සහිත පරිසරය නිසා සත්ත්ව පරපුරට ජලය ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. දිවියන් බහුලව මෙහි සිටින අතර මෙරට දිගම හා විශාලතම දිවියන් මෙහි දකින්නට ලැබී ඇති බව උද්‍යානයේ වනජීවී නිලධාරීන් පවසනවා.

අප මුලින් පැවසූ පරිදි ශ්‍රී ලංකාවේ විශාලතම ජලජ පක්ෂියා වන බහුරු මානාවා නම් පක්ෂියා ද ලංකාවේ උසම පක්ෂියා වන අඩි 4 1/2ක් උස මහ කොකාද මෙහි සිටිනවා.

ඊට අමතරව අළු කෑඳැත්තා, වලිකුකුළා, මල් කොට්ටෝරුවා, මුදුන් බෝර දෙමලිච්චා, ඇඹල කොකා, කළපු කිරලා, සුදු දෑතුඩුවා, කළු රාජාලියා, සර්ප රාජාලියා, සිළු රාජාලියා, ලබු ගිරවා, කොළ පරවියා, පොරව කෑඳැත්තා, වැනි ඉතා විරල පක්ෂි විශේෂ ද 86ක් දැකගන්න පුළුවන් බව මේ පිළිබඳව අධ්‍යයන කළ අය පවසනවා.

අලි පරපුර ද මෙහි බහුලය. මේ ජාතික වන උයන විවෘත කිරීමෙන් පසු තබ්බෝව හා ගල්ගමුව ප්‍රදේශවල අලි - මිනිස් ගැටුමට ලක්වී ඇති අලි ඇතුන් මෙම ස්ථානයට ගෙන ඒමට සැලසුම් කර තිබෙනවා.

                           මොනරා

      මුවන් නැති වන උයනක් කුමටද?

           බිම්බස්සා දුර්ලභ සත්වයෙකි
විල්පත්තුව උද්‍යාන පාලන වීරසිංහ මහතා පවසන පරිදි තිත් මුවන්, ගෝනුන්, මීහරකුන් මෙහි වැඩිපුර දකින්නට පුළුවන්. විල්පත්තුව බටහිර මායිමේ මුහුදු තීරුවේ දාර කැස්බෑවන් සහ මුහුදු ඌරන් ද දකින්නට ලැබෙනවා. අලුත්ම පර්යේෂණ අනුව මෙහි සිටින සත්ව විශේෂ ගණන 370ක්.

ඉන් විශේෂ 21ක් අපේ රටට ආවේණිකයි.

මේ ජාතික උයන ඇතුළත සිංහල ජාතියේ ආරම්භය සනිටුහන් කරන පුරාවිද්‍යා සාධක බහුලව තිබෙන බව පසුගිය වසර කීපය තිස්සේ විල්පත්තුව පිළිබඳ අධ්‍යයනය කළ ලෝක සංරක්ෂණ සංගමයේ (IUCN) ජෛව විවිධත්ව සම්බන්ධීකාරක හා පර්යේෂණ නිලධාරි විමුක්ති වීරතුංග මහතා පවසනවා. විජය කුමාරයා මෙරටට ගොඩ බට තම්මැන්නා වෙරළ තීරය පිහිටා ඇත්තේ විල්පත්තුවේ බටහිර වෙරළ තීරුවෙයි. එය කුදිරමලේ ලෙසයි හඳුන්වන්නේ. සාලිය කුමාරයා අශෝකමාලා සමඟ විසූ සුවිශේෂී ස්ථානයක් ද මෙහි තිබෙනවා. එය වරදගොඩ ගල් බැඳි තීරයයි.

විල්පත්තුවේ වැඩියෙන්ම පුරාවිද්‍යාත්මක සාධක බහුලව තිබෙන්නේ එහි බටහිර මායිමට වන්නට ඇති පොම්පරිප්පුව ප්‍රදේශයේයි.

මේ පිළිබඳව වසර ගණනාවක් තිස්සේ පර්යේෂණ කළ ලෝක සංරක්ෂණ සංගමයේ ජෛව විවිධත්ව සම්බන්ධීකාරක විමුක්ති වීරතුංග මහතා පැවසුවේ විල්පත්තුව ජාතික උද්‍යානය පිහිටා තිබෙන්නේ මීට අවුරුදු ලක්ෂ 120කට පෙර මුහුදින් ඉහළට එසවුණු කොරල් පර සහිත මුහුදු තීරයක බවයි. මෙහි නාග පෙන සහිත විරල බුදු පිළිමයක් සොයාගෙන තිබෙනවා. ඒවා ලංකාවේම ඇත්තේ හතරයි.

අපේ පරණ මුතුන් මිත්තන් පාවිච්චි කළ දේවල්වල පොසිල සාධක මෙහිදී අප සොයා ගත්තා. එහි වයස අවුරුදු ලක්ෂ 120ක් වෙනවා. කුදිරමලේ ප්‍රදේශයේත් මේ පුරාවිද්‍යාත්මක සාධක බහුලයි. අවුරුදු 200කට පමණ පෙර මුහුදු පතුලේ මැරුණු සතුන්ගේ කොටස් අද පොම්පරිප්පු ප්‍රදේශයේ දකින්නට පුළුවන්.

”පොම්පරිප්පුව කියන ප්‍රදේශයේ මිනිසුන් 12000ක ගේ පමණ සුසාන භූමියක් තිබෙනවා. ඒ පිළිබඳව දයාන් හෝකි නම් එක්සත් ජනපදයේ පර්යේෂණ නිලධාරිනියක් පර්යේෂණ කළා. ඒ අනුව අනාවරණය වී තිබෙනවා විල්පත්තුවේ පොම්පරිප්පුව ප්‍රදේශයේ සිටි මිනිසුන් දකුණු ඉන්දියාවේ මොහොන්දෝජාරෝ හරප්පා ඉපැරැණි ශිෂ්ටාචාරයට සෘජුවම සම්බන්ධයි කියලා. ඒ අනුව අපි උතුරු ඉන්දියාවට වඩා දකුණු ඉන්දියාවට වැඩිපුර සම්බන්ධයක් තිබෙනවා. අලුත්ම අධ්‍යයන අනුව විහාරාරාම 68ක් මේ විල්පත්තුවේ කැලයෙන් වැසී පවතිනවා. මෙහි තවත් ශිලාලේඛන පුරාවිද්‍යාත්මක ලෙස වැදගත් වූ ස්ථාන රැසක් වනයෙන් වැසී තිබෙන බව පවසන පර්යේෂක විමුක්ති වීරතුංග ඒවා සුරැකීමට විධිමත් ක්‍රමයක් අනුගමනය කළ යුතු බව පෙන්වා දෙනවා.

විල්ලු මෙතරම් තිබෙන මෙරට එකම ජාතික වන උයන මෙයයි. මේ විල්ලුවලට පිටතින් වතුර යන්නෙත් නැහැ. විල්ලුවල ජලය පිටතට යන්නෙත් නැහැ. වැසි ජලය මේවාට කෙළින්ම එකතු වෙනවා. විල්ලු නිසා වනාන්තරයේ ජෛව විවිධත්වය ඉහළ නැංවී තිබෙනවා.

මේ වන උයනේ කළ පර්යේෂණවලදී සුවිශේෂ පරිසර පද්ධති 13ක් මේ වන උයනේ තිබෙන බව හඳුනාගෙන ඇතැයි පර්යේෂක විමුක්ති වීරතුංග පවසනවා.

මේ අනුව මෙහි ඇති සමහර සම්පත් නැතිවුණොත් ඒවා මුළු ලෝකයෙන්ම නැතිවෙන්න පුළුවන්. ඒ ඒවා මුළු ලෝකයෙන්ම දැනට තිබෙන්නේ මේ වන උයනේ නිසයි.

වන උයන විවෘත කිරීමට සහභාගි වූ පාඨලී චම්පික රණවක මහතා පැවසුවේ විල්පත්තුව මුදාගැනීමට අපේ රණවිරුවන් පසුගිය කාලයේ කළ මෙහෙය ඉතා අගය කරන බවයි. රටේ සියලුම උද්‍යාන අද ‘සීල්’ කරලා තියෙන්නේ. ඒවාට අත තියන්න කාටවත් බැහැ. දැන් යුද්ධය අවසන්. රට නිදහස්. මේ රට පුරා දැන් කාගෙවත් බලපෑම්වලට ලක්නොවී රටේ සෞන්දර්ය නැරඹීමට හැමටම අවස්ථාව තිබෙනවා යැයි ද ඇමැතිවරයා කීවේ අභිමානයෙනි.

කෙසේ වුවත් මේ විල්පත්තුව ජාතික වන උයන සුරැකීමට රටේ සැවෝම අවධානයෙන් සිටිය යුතු බවද කිව යුතුයි.

විල්පත්තු සංචාරයකින් පසු