රටට ආවේණික අලුත් කොරල් වර්ග දෙකක්
ගෙවීගිය දෙදහස් අට වසර අන්තර්ජාතික කොරල් පර වසරයි. 2008 වසර කාටත් හොරා අපෙන් සමුගත්ත ද කාටත් හොරා අපි ලෝකයා හමුවේ අමරණීය සිහිවටනයක් ද තැබීමට සමත්වීමු. ශ‍්‍රී ලංකාවටම ආවේණික වූ අලුත් ම කොරල් වර්ග දෙකක් අප විසින් ම අපේ රටෙන් සොයා ගැනීම මෙම අමරණීය සිහිවටනයයි. මෙම කොරල් වර්ග ‘පොඩබේසියා ලංකෙන්සිස් (PODABACIA LANKAENSIS) හා පොරයිටිස් ඩිසිල්වෙරි (PORITES DESILVERI) ලෙසින් නම් කොට ඇත.
 |
දකුණේ ඇති ඉහළ ඝනත්වයක් හා සෞඛ්‍ය සම්පන්න බවින් වැඩි මිරිස්ස කොරල් පරයේ දර්ශනයක් |
හික්කඩුව - මිරිස්ස රූමස්සල කොරල් පරවලින් සොයා ගැනුණු මෙම විශේෂිත කොරල් වර්ග දෙක තවමත් නිල වශයෙන් නම් කොට නැති නමුදු එය විශේෂ වර්ග දෙකක් ලෙසට පිළිගෙන ඇතැයි රුහුණු විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යා හා සාගර භූ විද්‍යා අධ්‍යයන අංශ ප‍්‍රධානී ආචාර්ය පී.බී. ටර්නි ප‍්‍රදීප් කුමාර මහතා පැවසුවේ ය.
දස වසරකට අධික කාලයක් තිස්සේ මාලදිවයින, කෙන්යාව, ටැන්සානියාව, ජපානය, නවසීලන්තය, ඕස්ටේ‍්‍රලියාව හා ස්වීඩනය යන රටවල සාගර විද්‍යාව පිළිබඳ පර්යේෂණයන් හි නියැළී සිටි ඔහු මිරිස්ස නිජබිම කරගත් රුහුණු පුත‍්‍රයෙකි.
අලුතින් ඉදිකෙරෙන හම්බන්තොට වරාය පිළිබඳ මුහුදු ශක්‍යතා වාර්තාව සකස් කළේ ද ආචාර්ය ප‍්‍රදීප් කුමාර ය.
මේ සප්ත මහා සාගරය මහා සම්පත්වලින් පිරුණ නිධානයක් බඳු ය. භෞතික මෙන් ජෙව විවිධත්වයෙන් යුත් ජීව සම්පත්වලින් ද අනූන ය.
එමෙන් ම මේ ලෝකය අතිසුන්දරය.
මෙයට දශක තුනකට ප‍්‍රථම ලොව ප‍්‍රකට විද්‍යාඥ ආතර් සී. ක්ලාක් සහ මයික් විල්සන් වැන්නවුන් අපේ රටේ මුහුදු පතුලේ අසිරිසිරිය දැන ගත්හ. ඔවුන් දුටුවේ ද මේ අසිරියෙන් බිඳක් යැයි ඔවුහුම පැවසූහ.
සාගර හා මුහුදු විද්‍යාඥයෝ කොරල්පර ජලයේ ඇති නිවර්තන වැසි වනාන්තර ලෙස හඳුන්වති. ලොව මත්ස්‍ය සම්පතෙන් සියයට 25 ක ළමා කාලය ගෙවෙනුයේ මේ කොරල්පර ආශ‍්‍රිතවය. මත්ස්‍ය සම්පතේ ගොදුරු බිම් හා තිඹිරිගෙවල් වන්නේ ද මේ කොරල් පරය.
ලංකාවේ අපි තවමත් මේ මහා කොරල් සම්පතෙහි සැබෑ අගය හඳුනාගෙන නැතැයි කීම වඩාත් හරිය. කොරල්පර නිසා යම්තාක් දුරකට සංචාරක ව්‍යාපාරය සඳහා දායකත්වයක් ලැබුණ ද මේ සම්පත ජාතික සම්පතක් ලෙස රැක ගැනීමට අදාළ අංශ අසමත් වීම කනගාටුදායක ය.
ලෝකයේ දැනට හඳුනාගෙන ඇති කොරල්පර වර්ග ගණන තුනක් බව ආචාර්ය ටර්නි අප සමඟ පැවැසීය.
ඒවා නම් ධාර පර, බාර්පර නොහොත් බාධක පර හා අතෝර පරය.
ධාරපර ලංකාවේ දකුණු දිග මුහුදු තීරයේ නොගැඹුරු දියේ දක්නට ඇත. හික්කඩුව බොනවිස්ටාව සහ මිරිස්ස ආදී ප‍්‍රදේශ මේ අතර සුවිශේෂය.
බර්පර නොහොත් බාධක පර ඇත්තේ ගැඹුරු මුහුදෙහි ය. මේවා බොහෝවිට නැගෙනහිර මුහුදු තීරයේ පාසිකුඩා, කල්පිටිය සහ නිලාවැලි වැනි ප‍්‍රදේශවල දී දැකගත හැකි ය.
අතෝරපරයන් ඇත්තේ මාලයක් ලෙසට ය. ඒවා ලංකාවේ තවමත් දැකගැනීමට ලැබී නැතැයි පවසන ටර්නි මහතා ඒවා මාලදිවයින වැනි දූපත් අවට මුහුදේ ඇතැයි පවසයි.
“ලංකාවේ සංචාරක ව්‍යාපාරය වර්ධනයට යොදාගත හැකි හොඳම දෙයක් තමා මේ ජීව කොරල්පර ප‍්‍රදර්ශනය කිරීම. නමුත් අවාසනාවකට දෝ මේ සියල්ල ටිකෙන් ටික අපට නැතිවෙමින් යනවා.
ස්වභාවික හේතු මෙන් ම මානව කි‍්‍රයාකාරකම් ද එයට හේතුවක්. ඩයිනමයිට් දැමීම, අපද්‍රව්‍ය සාගරයට දැමීම සහ කෘමිනාශක භාවිතය ආදිය මේ කොරල්පර විනාශයට එක එල්ලේ බලපානවා.
දකුණු දිග මුහුදු තීරයේ ඇති බොහෝ කොරල්පර විනාශ වී යන බවත් සමහර ඒවා මැරීගෙන යන බවත් අපේ අලුත් ම ගවේෂණ දත්තවලින් හෙළි වෙනවා.
ලංකාවේ හොඳම ජීව කොරල්පර ඇතත් නැගෙනහිර මුහුදු තීරයේ එයින් පසු අපට එදා දැක ගත හැකි හොඳම කොරල්පර වූයේ හික්කඩුව හා ලෝ ප‍්‍රකට උණවටුන, රූමස්වල බොනවිස්ටා කොරල් පර.
එදා උණවටුන කොරල්පරය ජෙව විවිධත්වය අතින් හරිම ඉහළයි. දුර්ලභ කොරල් හා ජීවීන් ගෙන් පිරිලා තිබුණා. හික්කඩුවත් එහෙමයි. නමුත් මේ වනවිට ඒ කොරල් පරවල ඇති ජීවී ගතිය මැරීයමින් පවතිනවා. මින් රූමස්වල තත්ත්වය හරිම කනගාටුදායකයි.
 |
විනාශ වෙමින් යන රූමස්වල කොරල්පරය |
අපේ අලුත් ම පර්යේෂණ අනුව දකුණේ හොඳම ජීවී සෞඛ්‍ය සම්පන්න කොරල්පරය වන්නේ මිරිස්ස ධීවර වරාය හා ඒ ආශ‍්‍රිත කොරල්පර යයි. මෙහි ඇති කොරල් බොහෝ ජීවමානය. හරිම ලස්සනයි. මෙහි ඇති කොරල් ප‍්‍රමාණය විශාලයි. ඝනත්වය වැඩියි.
දුර්ලභ කොරල් පරවල සිටින දුර්ලභ මත්ස්‍යයකු වන පනාවා යන මත්ස්‍යයා පවා මෙහි ඉන්නවා. මේ පර හරිම පුෂ්ටිමත්.
නමුත් රජයේ අවධානය යොමු විය යුතු බරපතළ අභියෝගයක් දැන් මතුවෙලා. මෙතැන නාවික කඳවුරක් ඇති කරනවා. ඒ සඳහා කෙරෙන පස් පිරවීම් ආදිය කොරල්පරයට හානිදායකයි.
වරායේ ඇති සියලු අපද්‍රව්‍ය බැහැර කරන්නේ මේ කොරල්පරයට. වහාම මේ තත්ත්වය නැති කළ යුතුයි.
තංගල්ලෙත් කොරල්පරයක් තියනවා. එතැනත් නාවික කඳවුරක් තියනවා. නමුත් ඒ නාවික පිරිස මේ ගැන ලබා ඇති අවබෝධය නිසා ඒ කොරල්පරයේ සුරක්ෂිතයා බවට නාවික කඳවුර පත් වී තිබෙනවා. මිරිස්ස කඳවුර ද ඒ තත්ත්වයට පත් කළ යුතුයි. ඒ පිරිස් මේ ගැන දැනුවත් කිරීම ප‍්‍රමාණවත්.
කොරල්පර මියයෑම ස්වාභාවික හේතු මතත් සිදුවී තිබෙනවා. සමහර රාජ්‍ය නොවන සංවිධාන කොරල් නැවත සිටුවීම කරනවා. ඒ කරන ඇතැම් නැවත වගා ‘අටුව කඩා පුටුව හදනවා’ වගේ වැඩ නිසා සැලකිලිමත් විය යුතුයි.
ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ප‍්‍රථම වතාවට රුහුණු විශ්වවිද්‍යාලයය මේ මුහුදු පතුලට බැස සම්පත් සෙවීම ආරම්භ කළා. අපි සමහර අය වගේ ගොඩ පීනන්නේ නෑ. අපේ සිසුවියන් පවා අඩි 30 - 40 මුහුදු පතුලට කිඳ්‍ර බැස ගවේෂණ කරනවා.
අපි බලාපොරොත්තු වන්නේ ලංකාව වටේ ඇති මේ වගා දියකඳ යට තිබෙන මේ විසිතුරු ලෝකය හා මුහුදු පතුලේ ඇති මහා ජාතික සම්පත දේශයේ දියුණුව සඳහා යොදවා ගැනීමට මංපෙත් විවර කරදීමයි.
(මෙම ලිපිය සඳහා අවශ්‍ය පිංතූර ලබා ගැනීමේදී ආචාර්ය ටර්නි ප‍්‍රදීප් කුමාර මහතාගෙන් ලද දායකත්වයට ස්තුතිය හිමිවේ)
|