Viewed 523 Times.   
යකඩ පෙති ගැනීමෙන් මලබද්ධය ඇති විය හැකිද?

තයිරොයිඩ් ග්‍රන්ථිය සහ ඉන් ස්‍රාවය වන තයිරොක්‌සින් හෝමෝනය, ශරීරයට අත්‍යවශ්‍යයම වූ පද්ධතියකි. මෙම ග්‍රන්ථිය බෙල්ලේ ස්‌වසනාලයට ඉදිරියෙන් පිහිටා ඇත. මෙම තයිරොයිඩ් ග්‍රන්ථිය විශාල වී තිබෙන විට අපි මෙය වායුගෙඩි ලෙස හඳුන්වමු. මෙලෙස වායුගෙඩි හටගැනීමට හේතු සහ ඒ සඳහා කරනු ලබන පරික්‌ෂණ සහ ප්‍රතිකාර බොහෝ ලිපි මගින් පල වී ඇත. එනමුත් අද මේ ලිපියෙන් පැහැදිලි කිරීමට බලාපොරොත්තු වනුයේ, මෙම තයිරොයිඩ් ග්‍රන්ථිsයෙන් ස්‍රාවය වන තයිරොක්‌සින් හෝමෝනය අධික ලෙස ස්‍රාවය වනවිට ඇතිවන රෝගය සහ ඊට ප්‍රතිකාර සම්බන්ධවය. මෙම රෝගය තයිරොටොක්‌සිකොසිස්‌  හෙවත් අධි තයිරොයිඩතාවය  ලෙස හඳුන්වනු ලබයි. මෙය ඉතාමත් බහුලවම දක්‌නට නොලැබෙන රෝගි තත්ත්වයක්‌ වුවද, කාන්තාවනට මෙය වැළදීමට ඇති ප්‍රවණතාවය වැඩිය. එලෙසම මෙම හෝමෝනය ශරීරයේ සෑම අවයවයකටම හෝ පද්ධතියකටම බලපාන බැවින්, බොහෝ විට මෙම රෝගය විනිශ්චය කිරීමටද කල්ගත විය හැක. එලෙසම අධිතයිරොයිඩතාවය ඇති සෑම අවස්‌ථාවකදීම, තයිරොයිඩ් ග්‍රන්ථිය, වායුගෙඩියක්‌ ලෙස විශාල වී නොතිබීමත් මෙම රෝග විනිශ්චය අපහසු කිරීමට බලපායි.

ශරීර ක්‍රියාකාරිත්වය

තයිරොයිඩ් ග්‍රන්ථියෙන් ස්‍රාවය වන තයිරොක්‌සින් හෝමෝනය මගින් ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාදාමයන් පාලනය කරනු ලැබේ. එනම් ශරීරයේ සිදුවන සෑම ක්‍රියාකාරිත්වයක්‌ම, උදාහරණයක්‌ ලෙස අවදිව සිටීම, හෘද ස්‌පන්දන වේගය, හුස්‌ම ගැනීම, ආහාර මාර්ගයේ ක්‍රියාකාරිත්වය, මාංශපේශිවල ක්‍රියාකාරීත්වය, ශරීර වර්ධනය ආදී සියල්ලක්‌ම පාලනය වනුයේ මෙම හෝමෝනය මගිනි. එබැවින් යම් හෙයකින් තයිරොක්‌සින් ඌනතාවයක්‌ නොහොත් අඩුවීමක්‌ ඇතිවූ විට මුළු සිරුරේම, සෑම පද්ධතියකම ක්‍රියාකාරිත්වය අඩපණ වේ.

පමණට වඩා වැඩි ක්‍රියාවක්‌

තයිරොක්‌සින් අධිකව ස්‍රාවයවීම හෙවත් අධිතයිරොයිඩතාවය ඇති වූ විට මෙම සෑම ක්‍රියාකාරිත්වයක්‌ම ප්‍රමාණයට වඩා අධික ලෙස සිදුවේ. එබැවින් අප ආහාර මගින් ලබාගන්නා වූ පෝෂක අනවශ්‍ය ලෙසත් අධික ලෙසත් මෙම ක්‍රියාකාරිත්වයන් සඳහා වැයවේ. එපමණක්‌ද නොව, ශරීරයේ තැන්පත් වී ඇති පෝෂකත් මේ සඳහා යොදා ගන්නා බැවින්, මෙම රෝගය ඇතිවිට, ශරීරයේ කිසිම හේතුවකින් තොරව කෙට්‌ටුවීමත්, ශරීරයේ බර අඩුවීමත් දක්‌නට ලැබෙන ප්‍රධාන රෝග ලක්‌ෂණයයි. මෙලෙස ශරීරයේ බර අඩුවීමත් දක්‌නට ලැබුණද, කිසිම ආහාර අරුචියක්‌ නොමැත. බොහෝවිට රෝගින් පවසනුයේ කෙතරම් ආහාර ගත්තත්, සිරුරේ බර අඩුවන බවයි." එලෙසම ශරීරයේ සෑම පද්ධතියකම ක්‍රියාකාරිත්වය අධික බැවින් ශරීරයේ උෂ්ණත්වයද ස්‌වල්ප ලෙස වැඩිවී තිබිය හැක.

සිරුරේ ඇතිවන රස්‌නය

එබැවින් රෝගීන් හට තම ශරීරයේ රස්‌නයක්‌ ඇති බව දැනේ. එපමණක්‌ද නොව මේ හේතුව නිසා නිතරම දහඩිය දැමීමද දක්‌නට ලැබේ. නිතරම තැති ගන්නා සුළු හෝ සිත කළඹන සුළු ස්‌වභාවයද, නොරිස්‌සුම් බවද මේ හා සම්බන්ධව ඇතිවන සමහර රෝග ලක්‌ෂණයි. මෙලෙස ස්‌නායුවල ක්‍රියාකාරිත්වය වැඩි වි ඇති විටදී, තම අත් සහ ඇඟිලි වෙව්ලන බවද සමහර රෝගීන්ට දැනෙනු ඇත. එලෙසම තම හෘද ස්‌පන්දනය තමාටම දැනෙන ස්‌වභාවයක්‌ද ඇතිවිය හැක. ඊට හේතුව වනුයේ මෙම රෝගීන්ගේ හෘද ස්‌පන්දන වේගය ඉතාමත් වැඩියෙන් සිදුවන නිසාවෙනි. එසේම ස්‌වසන වේගය වැඩිවීම නිසා, හුස්‌ම ගැනීමට ඇති අපහසුතාවයද, ආහාර මාර්ග පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩි නිසා දිනකට කිහිප වරක්‌ම මළපහ කිරීමට ඇති අවශ්‍යතාවයද මෙම රෝගයේ ඇති තවත් ලක්‌ෂණයි. එලෙසම කාන්තාවන්ගේ ඔසප් චක්‍රයේද, ඔසප්වීම්වලද අක්‍රමිකතා දක්‌නට පුළුවන. මස්‌ පිඩුවල දුර්වලතාවය, හිසකෙස්‌ වැටීම, නින්ද නොයාම මෙම රෝගය උත්සන්න වී ඇතිවිට දක්‌නට ලැබේ.

දෙනෙතේ ආබාධ

ඇස්‌වල නොයෙකුත් රෝග ලක්‌ෂණ ඇතිවීම මෙම රෝගයේ විශේෂත්වයකි. ඇහි පියන් පත් ඉහළට ඉස්‌සී, ඇස්‌ දෙකෙන්ම අඛණ්‌ඩව බලා සිටින ඉරියව්වක්‌ මුහුණේ තිබීම අධිතයිරෝයිඩතාවයේ විශේෂ ලක්‌ෂණයකි. ඊට අමතරව ඇහි පියන් වසන විටදීද මෙය පහසුවෙන් කිරීමට හැකියාවක්‌ නැතිවීමද, ඇස්‌වල ඇති මාංශපේශි දුර්වල වීමද, එම නිසා සමහර අවස්‌ථාවලදී එකක්‌, දෙකක්‌ සේ පෙනීමද, ඇස්‌ නිතරම ඇස්‌ පියන් වලින් වසා නොතිබෙන නිසා ඇස්‌වල නොයෙකුත් ආසාදිත තත්ත්වයන් ඇතිවීමද දක්‌නට ලැබේ. ඊට අමතරව, සමහර රෝගී තත්ත්වයන්වලදී ඇස්‌ දෙක ඉදිරියට නෙරා ඒමද දක්‌නට පුළුවන.

මෙම අධිතයිරොයිඩතාවයට ප්‍රතිකාර අතපසු කළහොත් ඉතාමත් අර්බුදකාරී තත්ත්වයට  මෙම රෝගය පත්විය හැක. එවිට ශරීර උෂ්ණත්වය සෙන්ටිග්‍රේට්‌ 40 ක්‌ දක්‌වා වැඩිවීමද, අධික වේගී හෘද ස්‌පන්දනයද, අනෙකුත් පද්ධතිවල ක්‍රියාකාරිත්වය කිසිම පාලනයකින් තොරව වැඩිවීමද හේතුවෙන් සිහි මුර්ච්ඡාවී  මරණය පවා සිදුවිය හැක.

උපතේදී

උපදින ළදරුවන්ටද මෙම අධිතයිරෝයිඩතාවය ඇතිවිය හැක. මෙය ඉතාමත් දුබල සිදුවීමකි. මෙලෙස අවාසනාවකට මෙන් ඇතිවිය හැක්‌කේ මවගේ ඇති තයිරොයිඩ පටක විනාශ කළ හැකි ප්‍රතිදේහ, වැදෑමහ හරහා උපදින්න ඉන්නා වූ කළලයට ගමන් කිරීම හේතුවෙනි.

අධිතයිරොයිඩතාවයේ රෝග ලක්‌ෂණ, තයිරොක්‌සින් පෙති වැඩි ප්‍රමාණයක්‌ භාවිත කළවිටද ඇති විය හැක. මෙලෙස තයිරොක්‌සින් පෙති අධික ලෙස භාවිතා කිරීමට සමහර වායුගෙඩි ඇති රෝගින් පුරුදු වී ඇති අතර මෙවන් අධිතයිරොයිඩතාවය තමන් විසින්ම ඇති කරගනු ලබන රෝගි තත්ත්වයකි. එබැවින් දිගු කලක්‌ තයිරොක්‌සින් පෙති භාවිත කරන්නේ නම්, මේ සඳහා අවශ්‍ය රුධිර පරික්‌ෂණ සහ වෛද්‍ය උපදෙස්‌ ලබාගත යුතුය.

අධිතයිරොයිඩතාවය විනිශ්චය කිරීම සඳහා වෛද්‍යවරුන්, රෝගියාගේ විස්‌තරයද, මෙලෙස දක්‌නට ලැබෙන රෝග ලක්‌ෂණ සියල්ලක්‌මද ප්‍රයෝජනයට ගනු ලබයි. ඊට අමතරව තයිරොක්‌සින් හෝමෝනය අධික ලෙස ස්‍රාවය වන බව ස්‌ථිර කිරීම සඳහා රුධිර පරික්‌ෂණයන් කිරීමද අවශ්‍යය වේ.

අධිතයිරොයිඩතාවය සමඟ තයිරොයිඩ් ග්‍රන්ථිය අධික ලෙස විශාල නොවී ඇති අවස්‌ථාවලදී ඖෂධ මගින් මෙම රෝගය පාලනය කළ හැක. මේ සඳහා ඉතා දිගු කාලයක්‌ මෙලෙස ඖෂධ ගැනීම අවශ්‍යය වේ. එනමුත් ඖෂධ නතර කළවිට නැවතත් තයිරොක්‌සින් ස්‍රාවය පෙර ලෙසම අධික ලෙස ස්‍රාවය වේ නම්, සැත්කමක්‌ මගින් තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීම අවශ්‍යය වේ. යම් හෙයකින් මෙම රෝගීන් සැත්කමක්‌ කිරීම සඳහා සුදුසු, නිරෝගි තත්ත්වයක නොසිටී නම්, එවැන් අවස්‌ථාවකදී අනෙක්‌ ක්‍රමය වන විකිරණ භාවිතා කොට තයිරොයිඩ් ග්‍රන්ථිය විනාශ කිරීම කළ හැක.

ශල්‍ය වෛද්‍ය විශේෂඥ නෙඔමාල් පෙරේරා
ලංකා හොස්‌පිටල්ස්‌