අනාගත භූමි කම්පා ගැන අනාවැකියක්
ස්‌වාභාවික විපත් වලින් ජීවයේ පැවැත්මට එල්ල වන තර්ජන පිළිබඳ වෙන කවරදාටත් වඩා මිනිසාගේ අවධානයට යොමුව ඇති කාලයකි මේ. සැබැවින්ම සාමාන්‍ය මිනිසුන් පමණක් නොව දේශපාලකයන්, උගතුන්, බුද්ධිමතුන් මෙන්ම ලෝකයේ සහ එහි හැසිරීම පිළිබඳ දැනුම් තේරුම් ඇති විද්‍යාඥයන් පවා දිනෙන් දින සිදුවන මේ ස්‌වාභාවික ව්‍යවසන වලින් සලිතව ඇති අයුරකි. 2004 වසරේ ඇති වූ සුනාමිය, හයිටියේ සහ නවසීලන්තයේ ඇති වූ භූ කම්පන ස්‌වාභාවික විපත්වල තරම කෙසේ දැයි මිනිස් සිතට කාන්දු කළ ද ලෝකයා වඩාත් තීව්‍රර ලෙස මවිත කළ සිදුවීම වූයේ මෑතකදීය. ඒ අවාසනාවන්ත සිදුවීම වූයේ පැසිපික් සාගරයේ භූ කම්පනය නිසා ජපානයට බලපෑ සුනාමි ව්‍යසනයයි.
මිනිසුන් දස දහස් ගණනක් මරුමුවට පත් කළ ඊට නොදෙවෙනි සංඛ්‍යාවක් අතුරුදන් කළ ඒ මහා ව්‍යසනය නිසා දැන් අන් සියල්ලටම වඩා සුනාමි ඇති වීමට සෘජු බලපෑම් ඇති කරවන භූ කම්පනවලට ලෝකයා දැඩි බියක් දක්‌වති. ස්‌වභාවික විපත් අතරින් භූ කම්පන කල්තියා නිශ්චිතව දැන ගැනීමේ තාක්‍ෂණයක් මෙතෙක් සොයා ගෙන නොමැති වීම මේ බිය දෙගුණ තෙගුණ කරවීමට ද හේතුවන්නකි.
නමුත් අනාගතයේ සිදුවිය හැකි භූ කම්පන ගැන කල්තියා දැනුවත් වීමේ ක්‍රමවේදයක් ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ පර්යේෂකයන් පිරිසක් පසුගියදා හෙළිකර තිබිණි. ඒ ප්‍රකාශයෙන් පමණක් නොනැවතුණු ඔවුහු අප්‍රේල් මාසයේ ලොව පුරා සිදුවන භූ කම්පන කිහිපයක් පිළිබඳ තොරතුරු අනාවරණය කළහ. ඒ අනුව අප්‍රේල් 3 - 10 අතර ජපානයේත් 6 - 10 අතර චීනය සහ ඉන්දියාවට අයත් දේශසීමාවලත් අප්‍රේල් 10 - 15 අතර තුර්කිය ඉරානය වැනි රටවලත් 10-20 අතර සුමාත්‍රා ආසන්නයේත් 16 - 20 සහ 10 - 14 කාලයේදී නැවත ජපානය, නවසීලන්තය සහ ඉන්දුනීසියාව වැනි රටවල භූ කම්පන සිදුවන බව එම පර්යේෂකයන්ගේ අදහසයි. යම් හෙයකින් මේ අනාවැකි සත්‍ය වුවහොත් සුමාත්‍රාවේ සිදුවෙතැයි කියන භූමිකම්පාව පිළිබඳ අප අවදියෙන් සිටීම වැදගත්ය.ඒ එයින් සුනාමියක් ඇතිවීමට ඉඩ ඇති හෙයිනි.
එහෙත් භූ කම්පන සිදුවීම පිළිබඳ කල්තියා දැන ගත හැකි කවුරුත් පිළිගන්නා තාක්‍ෂණයක් නොමැති නිසා මාධ්‍ය මගින් පවා පළ වූ මේ පුවත කිසිවෙකුගේ අවධානය දිනාගත් බව නම් නොපෙනේ. ඒ කෙසේ වුවත් භූ කම්පන පිළිබඳ මත පළ කළ මේ පරීක්‍ෂණ කණ්‌ඩායමේ ප්‍රධානි මහාචාර්ය අතුල සේනාරත්න මහතාට අනුව ඔවුන් මීට පෙර භු කම්පන පිළිබඳ තිබූ බොහෝ අනාවැකි සත්‍ය බවට පත්ව තිබේ. විශේෂයෙන් හයිටියේ සහ පසුගිය පෙබරවාරි 22 වැනිදා නවසීලන්තයේ සිදු වූ භූ කම්පන ඒ අතර වෙති. ඊටත් වඩා මේ දේශීය විද්වතුන්ගේ මතය ගණනකට නොගෙන බැහැර කළ නොහැක්‌කේ මේ සටහන තබන මොහොතේ ද ජපානයේ යළිත් භූමි කම්පාවක් සිදුවී සුනාමි අනතුරු ඇඟවීමක්‌ද කර තිබීමය. එය මහාචාර්ය අතුල සේනාරත්න මහතා ප්‍රමුඛ පර්යේෂණ කණ්‌ඩායම අප්‍රේල් 03 සහ 10 අතර ජපානයේ භූමි කම්පාවක් සිදුවන බවට හෙළි කළ මතය තහවුරු වීමකි.
දැන් කා තුළත් නැගෙන කුතුහලය වන්නේ මේ විද්වතුන් කුමන තාක්‍ෂණයක් යොදාගෙන කෙසේ මෙම අනාවැකි පළකරන්නේ ද යන්නයි. මහාචාර්ය අතුල සේනාරත්න මහතා ප්‍රකාශ කළේ එහිදී ඔවුන්ගේ ප්‍රධාන අවධාදානය යොමු වූයේ පෘථිවිය වටා ඇති ග්‍රහ වස්‌තූන් කෙරෙහි යන්නයි. පෘථිවියේ සමස්‌ත ජීවයටත් එහි පැවැත්මටත් සූර්යා ප්‍රමුඛ අප වටා තිබෙන ග්‍රහවස්‌තූන්ගෙන් සිදුකරන බලපෑම අවිවාදිතව තහවුරු වූවකි. එසේ නම් ස්‌වභාවධර්මයේ වෙනස් වීමකට සෞරග්‍රහ මණ්‌ඩලයේ හැසිරීම බලපෑමක් නොකරන්නේද? ඒ ඔස්‌සේ පරීක්‍ෂණ කණ්‌ඩායමේ අවධානය පසුගිය කාලයේ ලොව වටා භූ කම්පන සිදු වූ දිනයක් කෙරෙහි යොමුවිය. එම දිනයන්වල අප සෞරග්‍රහ මණ්‌ඩලය පිහිටියේ කෙසේ ද?. එම නිරීක්‍ෂණයට අනුව භූමි කම්පාවක් සිදුවන දින වලදී සෞරග්‍රහ මණ්‌ඩලයේ ඇතැම් ග්‍රහයෝ එක පෙළට රටාවකට පිහිටා තිබෙනු දිස්‌ව තිබේ. එහෙත් භූමි කම්පාවක් නොවන සාමාන්‍ය දිනයන්හිදී සෞරග්‍රහ මණ්‌ඩලය සාමාන්‍ය ආකාරයෙන් රටාවකින් තොරව විසිරී තිබෙනු ඔවුන්ගේ නිරීක්‍ෂණයට හසුව තිබේ. මේ අනුව පරීක්‍ෂණ කණ්‌ඩායමේ විශ්වාසය වී ඇත්තේ ග්‍රහ වස්‌තූන් එක රටාවකට පිහිටීම, ඒ ග්‍රහයන්ගෙ ගුරුත්වාකර්ෂණ බලය පෘථිවි අභ්‍යන්තරයේ ඇති තරලයට බලපෑමක් ඇති කරන්නේය යන්නයි.
භූ කම්පනයක් සිදුවන්නේ පෘථිවි අභ්‍යන්තරයේ ඇති එකී තරලය මත පාවෙමින් තිබෙන භූ තල එකිනෙක ගැටීමෙනි. භූ තල මායිම් ආශ්‍රිතව භූ කම්පන සිදුවෙනවා යෑයි කියන්නේ ඒ නිසාය. දැනට භූ කම්පන සිදුවන්නේ කවදා දැයි නිශ්චිතවම කලින් කිව හැකි පිළිගත් තාක්‍ෂණයක් නොමැති වුවත් විද්‍යාඥයන් භූ කම්පන ගැන අනාවැකි ප්‍රකාශ කරන ක්‍රම දෙකක් තිබේ. භු තල මායිම් ආශ්‍රිත ප්‍රදේශයක, කාලයකින් භූ කම්පනයක් සිදු නොවුනු විට භු කම්පනයක් හට ගැනීමේ ප්‍රවණතාවක් පවතී. වසර විස්‌සක් තිහක් ඇතුළත එකී ප්‍රදේශයේ (SEISMIC GAP) භු කම්පනයක් සිදුවෙන බව කීම එක් ක්‍රමයකි. සංවහන ධාරා තුළ දීර්ඝ කාලයක් තිස්‌සේ එකතු වන ශක්‌තිය මුදා හැරෙන අවස්‌ථාවේ ඇතිවන භූ කම්පන ගැන අනාවැකි ප්‍රකාශ කිරීම තව ක්‍රමයකි. එය වසර සියයක් වැනි දීර්ඝ කාලයකට වරක් සිදුවන්නකි. සුමාත්‍රා ආශ්‍රිතව සිදු වූ භූමි කම්පාව එවැන්නක් බව කියනු ලැබේ. ඉදිරි වසර දහය ඇතුළත ටෝකියෝවල භූ කම්පනයක් ඇති වන බවට විද්‍යාඥයන් අනතුරු අඟවා ඇත්තේ ඒ ක්‍රමවේදයකට අනුවයි. වාසනාවකට අපේ රට භූ තල මායිමක නොපිහිටීම භු කම්පනවල සෘජු බලපෑමක් අපේ ජීවිතවලට ඇති නොකරයි. එහෙත් සුමාත්‍රාවේ භූ කම්පනය නිසා සුනාමියෙන් අපේ රටට වූ විපත තවමත් අපේ මතකයෙන් ගිලිහී නොයේ.
කෙසේ වෙතත් මහාචාර්ය අතුල සේනාරත්න මහතා ප්‍රමුඛ පරීක්‍ෂණ කණ්‌ඩායම භූ කම්පන ගැන කී අනාවැකි වලට ඉහත ක්‍රම දෙකම අදාළ නොවූ බව දැන් පැහැදිලිය. ග්‍රහ තාරකා වල පිහිටීම අනුව නිගමනය කරන එය සූර්යග්‍රහණ සහ චJද්‍රග්‍රහණ සිදුවන විට භූ කම්පන සිදුවෙනවා කියා පුරාතනයේ තිබූ ජනප්‍රවාදයට සමානය. නමුත් තවමත් පරීක්‍ෂණ මට්‌ටමේ පවතින එහෙත් ඇතැම් නිගමන තහවුරු ඒ ක්‍රමය අඩු තක්‌සේරු කළ නොහැකිය. 2012 වසරේ ලෝක විනාශයට එක් හේතුවක් ලෙස පෘථීවිය සූර්යයා සහ අප ජීවත්වන ක්‍ෂිරපතයේ කේන්ද්‍රය එක පෙළට පැමිණීම හේතුවනනේය යන මතය ඉහළින්ම කතාබහට ලක්‌වූ බව අපට මතකය. සැබැවින්ම ග්‍රහ තාරකා එක පෙළකටට පිහිටීමත් එමගින් ඇතිවන ගුරුත්වාකර්ෂණය හේතුවෙන් භූමි කම්පා සිදුවේ නම් 2012 වසරේ සිදුවෙතැයි කියන ග්‍රහ වස්‌තුන්ගේ පිහිටීම යම් විනාශකාරී ක්‍රියාවලියකට මඟ හදන්නට පිළිවන. නමුත් ඉදිරියේදී සිදුවෙතැයි කියන ක්‍රියාවලියකට අනියත බියක් ඇති කර ගෙන සිටීම ද එය නොකතා හැර සිටීම ද නුවණට හුරු නැත.
තිස්‌ස ගුණතිලක